Sunday, August 19, 2012

අපරාධය


සියල්ල නිශ්චිතව 
අවසන් ව පැවතිණ
සුපුරුදු ලෙසම 
බිත්ති නිසසල විය
ඇසින් දුටු හූනා 
වෙනත් සිවිලිමක විය
කිළිටි වු කවුළු තිර මොබ
මදුරු ගුමුවක් පමණි
දුහුවිලි පිරි ගෙබිම මත
එක් පැල්ලමක් පමණි

මළ කැරපොතු සිරුර
පසෙක විය
මිය යනු දුටු දෙනෙත
දක්නට නොමැති විය

අනතුරුව ආ එකම නාශක දියරයකි!
බිඳු කිහිපයකි
තනි විදුමකි


කිසිත් නොකියන බිත්ති මත
යළිත් ආ හූනා ද නිහඬ ය
මදුරු කැළ අහරට ගොසිනි
කවුළු තිර යළි නිසල ය
දුහුවිලි ද සුළඟට ගොස්
අලුත් දුහුවිලි එක්වෙමින් පැවතිණ

කැරපොතු මළගම
ඔව්! මම එහි ගියෙමි
අපරාධය ගැන කියන්නට
මට ද කිසිවක් නැත

එකම සුදු මල්වඩමක්
ඒ බිම මත රැඳින
පියකරු මුත් එදින
වැසිබරව පැවතිණ


සෙවණැල්ල: රික් එස්. බැස්ටාසා - Perfect Crime

Sunday, August 12, 2012

පිටස්තරයෝ


වදන් යනු හැඟවුම් ද
අසම්පූර්ණව සැදුණු,
පූර්ණ ද හැඟවුමෙන්
නිසි අරුත් ගොනු කෙරුණු..?
නොදන්නෙමි තවම මම
මමත් මගෙ බසත් දෙක
ලෝක දෙකකැයි සිතෙයි...

එහෙයින්ම
මම වදන් නොපවසමි, නිහඬ වෙමි
අරුත් නිසි නොම දෙවන
මගේ බස, හද බසට
පාලමක් නොම තනන
නිසාවෙන් නිසි ලෙසට

වදනකුදු නොදොඩන්න
ඔබ වැරදියැයි කියනු ඇත එවිට
නැගෙන නද තත් සරින්
මියුරු යැයි කියති උන්

මත භේද, විතර්කන
මට අවැසි නැත කිසිත්
ඔබෙ වදන් ඔබ ගන්න
මගෙ වදන් මම ගනිමි

ඉදින් කල‘රිමු යෙහෙන්
පිටස්තරයෝ ලෙසින්...

 
සෙවනැල්ල: ටින් මෝ - Strangers