Sunday, October 9, 2016

ෂාෂාෂාෂාෂා...

ෂාෂාෂාෂාෂා....
අටවා ගනිවු මයික් සහ කැමරා
වරෙවු, නැගෙවු, වට කරවු මග අවුරා
අර අන්න අර එකෙක් ගෙල තියයි
අරගනිවු මුල් පුවත් සපුරා

ෂාෂාෂාෂාෂා...
දිව වරෙවු ගෙන හනික කැමරා
හිර කරවු අනුන් මග අහුරා
මේ මෙතන තව එකෙක් ගඟ පනියි
අර ගනිවු මුල් පුවත සපුරා

ෂාෂාෂාෂාෂා.....
උඩ පනිවු අපියි එක ගුගුරා
තව දමවු දුක් කදුළු පහරා
ඉහළ අතු මතින් එල්ලෙයි ඌ
අර ගනිවු මුල් පුවත සපුරා

ෂාෂාෂාෂාෂා.....
බැරිමනම් හංගගෙන කැමරා
දුව වරෙන් කෙළසලා කුමරා
නිරුවතින් අර අතන මළ සිරුර
අරගනිවු මුල් පුවත සපුරා

ෂාෂාෂාෂාෂා....
හෙට මැරෙන කෙනෙක් හෙම ඉඳී නම්
ලයිව් දෙමි ටෙලිකාස්ට් අගෙයි දැන්
ජීවිතේ මරණෙ ගැන කියා දෙන 
අපි තමයි රටේ එක මිතුරා

ෂාෂාෂාෂාෂා....
මේ තරම් අරුම සුරු නිදහසක්
කොයි වෙද්ද අපට හරියන රටක්
ඌරු හඬ නදින් දී ගුගුරා
තලු මරා කුණු සොයමු මිතුරා


ෂාෂාෂාෂාෂා....

ලාලාලාලාලා...

හාහාහාහාහාහා......

......................


Wednesday, July 20, 2016

චාච්චා!


වැඩි හැඩක් නැති අකුරකට
වැඩිය නොඇහෙන හකට
කොයි තරම් පුළුවන් ද
ආදරය කැවන්න

වැඩි රහක් නැති අකුරකට
කවිවල වැඩිය නැති හකට
කොයි තරම් පුළුවන් ද
මේ ජීවිතය යැයි අවන්න

අදත් මහ උදයෙම
නැගීවිත් දුරකථනෙන්
දැනුණා මහරු හැගුමක්
හදවත පුරන සතුටක්

‘ච‘

ඒක තනි අකුරක්
නෑ කිසිම හැඩයක්
චව් චව්‘ ගාල කනකොට
‘චැහ් චැහ්‘ ගානකොට
විතරක් නැගුණු සද්දක්

ඒත්... අද!

ච එක්ක අල් අකුරක්
එක්ක ඇලපිල්ලක්
එකතු වී හැදිලා
චාච්චා කියල සද්දක්

ඒක ලොකු සද්දක්

හුරු බුහුටියට කදිමෙට
‘තාත්තා‘ නොකිව්වට
ශබ්ද හැඩ විමසන
පුතු මුවින් ආ වදනක්

චාච්චා!

ඔව්... හරිම අදරැති වදනක්!!


Monday, April 25, 2016

"සිත් මවමු"



සිත්මවමු - අපට ඉහළින් දෙව්ලොවක් නැත්නම්
පහසුයි මවන්නට අපට අවැසිම නම්
පොළොව පතුලෙහි තැනෙක අපායක් නැත්නම්
ඉහළින්... ඔව්... ඒ අහස් කුස පමණයි...
සිත් මවමු සියලු මිනිසුන්
මේ අද දිනය තුළ දිවිගෙවයි නම්...


සිත් මවමු - රටවල්ය කිසිවක් දකින්නට නැත්නම්
පහසුයි මවන්නට අපට අවැසිම නම්
නසන්නට හෝ නැසෙන්නට කිසිවක්ම නැත්නම්
ආගමක් ලෙස ගැනෙන දෙයක් ලොව නැත්නම්
ඉහළින්.. ඔව්.... ඒ අහස් කුස පමණයි...
සිත් මවමු සියලු මිනිසුන්
සිය දිවිය සාමයෙන් ගෙවයි නම්


සිත් මවන්නෙක් පමණි ඔබ
ඔබ කියන්නට ඉඩ ඇත මට
එනමුත් මා පමණක්ම නොව
ඔබ ද දවසක මවෙත එනු ඇත
සිත් මවනු ඇත
ඉහළින්... ඔව්... ඒ අහස් කුස පමණයි...
ලොවම එක් යායක නැගෙනු ඇත


සිත් මවමු - කිසිවක් කාගෙත් නොවේ නම්
පහසුයි මවන්නට අපට අවැසිම නම්
කුස පෙළන ගින්නට නැවතීමෙ තිත නම්
සොයුරු පෙමකින් මුළු ලොව වැසෙයි නම්
සිත් මවමු සියළු මිනිසුන්
මුළු ලොව එකකු සේ දකියි නම්


සිත් මවන්නෙක් පමණි ඔබ
ඔබ කියන්නට ඉඩ ඇත මට
එනමුත් මා පමණක්ම නොව
ඔබ ද දවසක මවෙත එනු ඇත
සිත් මවනු ඇත
ඉහළින්... ඔව්... ඒ අහස් කුස පමණයි...
ලොවම එක් යායක නැගෙනු ඇත


සෙවණැල්ල - Imagine - ජෝන් ලෙනන්



 සටහන - මෙය සුප්‍ර‍කට ඉංග්‍රීසි ජාතික ගායක ජෝන් ලෙනන් විසින් ලියා ගායනා කරන ලද ගීතයකි. ප්‍ර‍කට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සම-ආරම්භකයා වූ ලෙනන් මේ ගීය ගයන්නේ එම කණ්ඩායම සමග නොව ඔහුගේ තනි ගීතයක් ලෙස 1971 වර්ෂයේ දී ය. නිකුත් වී ඉතා කෙටි කලකින් ඇමරිකා එක්සත් ජනපදය තුළත් පසුව ලොව පුරාමත් ප්‍ර‍සිද්ධ වුණු මෙම ගීතය ලෝකයේ ඇති සියළු බැමිවලින් මිදී මානව ප්‍රේමය තුළ පමණක් රැදී දිවි ගෙවන්නට මිනිසාට ආරාධනා කරයි.

ගීතය අසන්න - Imagine Song

Friday, March 4, 2016

තාත්තේ එන්න!

(කුලියාපිටියේ පාසැලක මාපිය කැළක් එක්ව පන්නා දැමුණු කුඩා පුතු, මපුතු මුහුණින් එබී කී කවකි!)


තාත්තේ...
ඊයෙ මුළු රෑමත්- මම බලන් හිටියා
අම්මා ඉකි බිඳින හඬ - මට හෙමින් ඇහුණා
කොයියම්ම මොහොතක - හීනෙක කෙළවරකවත්
නුඹ ඇවිත් හිටියා නම්
දුව එන්න තිබුණා
ළැම හිස හොවාගෙන
වැළපෙන්න තිබුණා...

තාත්තේ...
ඊයෙත් කවුරුවත් නං - පන්තියේ හිටියේ නෑ
මේ ඉස්කෝලෙ කවුරුත් - මාව අඳුනන් නෑ
මට තවත් තැනකට - අලුත් ඉස්කෝලයකට
යන්න වෙන විත්තිය - අම්මා මගදි කිව්වා
අම්මගේ ඇස් අග - කඳුළු මම දැක්කා

තාත්තේ...
ඉස්කෝල මොකටද - මිනිස් පුළුටක් නැති...?
ඉස්කෝල මොකටද - ජීවිත උගන්නන් නැති...?

කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං

තාත්තේ...
අදවත් රෑට හීනෙන් - නුඹ ඇවිත් යනවා නම්
නැගිටින් නැතිව ඉන්නං
හීන කෙළවරකින්වත් - ඇවිත් යනවා නම්
ළඟට දුවගෙන එන්නං
ළැම හිස හොවාගෙන - හයියෙන් අඬන්නං

කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං