Friday, March 4, 2016

තාත්තේ එන්න!

(කුලියාපිටියේ පාසැලක මාපිය කැළක් එක්ව පන්නා දැමුණු කුඩා පුතු, මපුතු මුහුණින් එබී කී කවකි!)


තාත්තේ...
ඊයෙ මුළු රෑමත්- මම බලන් හිටියා
අම්මා ඉකි බිඳින හඬ - මට හෙමින් ඇහුණා
කොයියම්ම මොහොතක - හීනෙක කෙළවරකවත්
නුඹ ඇවිත් හිටියා නම්
දුව එන්න තිබුණා
ළැම හිස හොවාගෙන
වැළපෙන්න තිබුණා...

තාත්තේ...
ඊයෙත් කවුරුවත් නං - පන්තියේ හිටියේ නෑ
මේ ඉස්කෝලෙ කවුරුත් - මාව අඳුනන් නෑ
මට තවත් තැනකට - අලුත් ඉස්කෝලයකට
යන්න වෙන විත්තිය - අම්මා මගදි කිව්වා
අම්මගේ ඇස් අග - කඳුළු මම දැක්කා

තාත්තේ...
ඉස්කෝල මොකටද - මිනිස් පුළුටක් නැති...?
ඉස්කෝල මොකටද - ජීවිත උගන්නන් නැති...?

කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං

තාත්තේ...
අදවත් රෑට හීනෙන් - නුඹ ඇවිත් යනවා නම්
නැගිටින් නැතිව ඉන්නං
හීන කෙළවරකින්වත් - ඇවිත් යනවා නම්
ළඟට දුවගෙන එන්නං
ළැම හිස හොවාගෙන - හයියෙන් අඬන්නං

කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං


2 comments:

  1. පොළොවෙ දෙපය තියාන
    ජීවිතේට මුහුණ දෙන්න
    මයෙ පුතේ....
    එකම රාමුවකට කොටුවෙලා
    බුරුත්තක්ම එකතුවෙලා
    අහිංසක ගැහැණියක්
    ගල් ගහල මරණ....
    මිය ගිය අප්ප්ච්චිගෙ අසනීපෙට
    ස්කෝලෙන් නෙරපන දරුවෙක්...
    අවජාතක නම් පට බැඳෙනවට
    කාණුවට විසිකරන කිරි කැටියෙක්..
    මේක බුදුන් වැඩි දේශය මයෙ පුතේ..
    වෙදැදුරන්ට වම දකුණ මාරුවෙල
    නිරෝගි අංග කපල අයින් කරණ
    අනගි රටක් මයෙ පුතෙ..
    පරිස්සමෙන් පාරෙ පලයන්
    කාසි පණම් තන්හාවට
    මග මරුවන් රේස් දුවන
    සිංහලේ මිනිස්සු අපි.....

    ReplyDelete